2024 - 09 -14 - අද පත්තරය
- මව් පියන්ට කතිර ගැසීමට උගන්වන ගුරුවරු අසුවුනොත් දැඩි දඩුවම් - අධ්‍යාපන ඇමති කියයි,
- OL ප්‍රතිඵල නිකුත් කරන කාලය,
- ජනාධිපතිවරණයට සුරාසැල් වැසේ,
- ශ්‍රී ලංකාවට රන් පද්දකම් 9 ක්,
- සුද්දන්ගෙන් මැරුම් කෑව කපිතාන් හෙන්රි වසර 108 ට පසු ජනාධිපති සමාව,
- දිමුත් හතරවන තැනට,
- වාහන ආනයනයට අවසර ලැබෙන අයුරු,
- වෙන කතා ගනන් ගන්න එපා - මැතිවරණ කොමිසම,
- වයරයකින් ගෙල සිර කර ඉපදුනු ගමන් බිලිදිය මරලා,
- නව පාසල් වාරය ඇරබෙන දිනය,
- දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් නිසා කහෙලියට ඇප,
පාසල් ළමයින් දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (සැප්. 12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ,දරුවන් දේශපාලනයට යොදා ගැනීම සම්පූර්ණ වරදක් බව ත් මැතිවරණ ලාංඡන නම් කර කතිරෙ ගහන්න කියන පණිවිඩය දරුවෝ අතේ ගෙවල්වලට යවන ගුරුවරු සිටිනා බව වර්තා වී තිබෙන බව ත් ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, දේශපාලන පක්ෂ සම්බන්ධ වෘත්තීය සමිතිවලට මේ පිළිබඳ චෝදනා එල්ල වන අතර දරුවන් දේශපාලනයට යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව ය.
මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ, දරුවෝ දේශපාලනයට යොදාගන්නවා නම් ඒක සම්පූර්ණ වරදක් බව ය.
මේ අනුව, පාසල් සිසුන් යොදවා ගෙන දේශපාලන ව්‍යාපාරයක් කරනවා නම් ඒකෙන් පේන්නෙ ඒ දේශපාලන ව්‍යාපාරය තියෙන තැන. අපි කිසිසේත් ම එකට ඉඩ තියන්නේ නැහැ. යම් කෙනෙක් දරුවෝ දේශපාලනයට යොදාගන්නා බව අමාත්‍යාංශයට වාර්තා වූ වහා ම පරීක්ෂණයක් කරනවා. දැඩි පියවර ගන්නා බව ය.
අපි මේ සම්බන්ධයෙන් දන්වා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා. තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ගැන ඔය තරම් සහතිකයි නම් දරුවන්ව ඡන්ද ව්‍යාපාරවලට යොදා ගන්නේ ඇයි ද? කියා මම අසන්නට කැමති යැයි ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
- නිමල් අල්ගෙවත්ත
O/L ප්‍රතිඵල නිකුත් කරන කාලය
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 2025 වසරේ සිට කිසිදු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් 2025 නව පාසල් වාරය ජනවාරි මස 02 දා ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීවේය.
ජනපතිවරණයට සුරා සැල් වැසේ
ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වැනිදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී ගුණසිරි මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට රන් පදක්කම් 09ක්
සුද්දන් ගෙන් මැරුම් කෑව කපිතාන් හෙන්රි ප්‍රේද්‍රිස්ට වසර 108කට පසු ජනපති සමාව
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට වසර 108කට පසු ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල ප්‍රාකාරයන්ට අනුව පෙරේදා (12දා) නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම සමාව ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ.
ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹ වීම් සිදු කළ බවට හෙන්රි පේද්‍රිස් මහතාට චෝදනා ඉදිරිපත් කරමින්, එවක ආණ්ඩුකාරවරයාව සිටි රොබට් චාවර්ස් විසින් නිකුත් කළ ප්‍රකාශයන් මගින් යුද අධිකරණයකින් සිදු කරනු ලැබූ අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව 1915 වර්ෂයේ ජූලි මස 07 දා ඒ මහතා ඝාතනය කරනු ලැබීය.
1988 වර්ෂයේ අගෝස්තු මස 16 දා ගාල්ලේදී ජන්ම ලාභය ලද හෙන්රි පේද්‍රිස් මහතා බි්‍රතාන්‍ය පාලන සමයේ මෙරට විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම එවකට ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගර ආරක්ෂක බළකායේ සේවය කළ කීර්තිමත් කපිතාන්වරයකු ද විය.
වසර 108කට පෙර දී යටත් විජිත යුද අධිකරණයකින් දුන් තීන්දුවට අනුව ඒ මහතා ඝාතනය කළ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනයකින් පසුව 2023 දෙසැම්බර් මස දී ඒ මහතාට ජනාධිපති සමාව ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබිණි.
එවකට 27 හැවිරිදි වියෙහි පසුවූ හෙන්රි පේද්‍රිස් තරුණ විරුවාගේ මරණ දඬුවමට එරෙහිව අභියාචනා කිහිපයක් ඉදිරිපත්ව තිබුණ ද, එය නොතකා ඔහුව මරණයට පත් කරන ලදී.
සුජීව තත්සර
දිමුත් හතරවැනි තැනට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර හතර වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.
ඒ අනුව, ටෙස්ට් තරග 94ක දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 7000ක සීමාව පසු කිරීමට දැන් ක්‍රියාත්මක එංගලන්තය සමග පැවැත් වෙන තුන්වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ඔහු සමත්විය.
36 හැවිරිදි වියේ පසුවන හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මේ වනවිට ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 38ක් රැස්කර ගෙන සිටින අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමන්‍ය 40.87ක් වේ.
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 111ක දී ලකුණු 7698ක්, මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149ක දී ලකුණු 11814ක් සහ කුමාර් සංගක්කාර ටෙස්ට් තරග 134ක දී ලකුණු 12400ක් රැස් කරමින් දිමුත්ට ඉදිරියෙන් පසුවේ.
සිසිර ඉන්ද්‍රජිත්
මෝටර් රථ ආනයන තහනම පියවරෙන් පියවර ඉවතට
මේ වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය සඳහා අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
304 HS කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝම්බර් 1 වැනිදා සිට අදියර තුනක් යටතේ මෙම තහනම ඉවත් කිරීම සිදුවන අතර මෙරට විදේශ විනිමය සංචිතයේ ඇතිව තිබූ පීඩනය කළමනාකරණය කිරීම සඳහා පළමුවෙන්ම 2020 වසරේ මාර්තු මාසයේ දී පනවන ලද මෙම තහනම මගින්, ඖෂධ, ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කරගැනීම වෙනුවෙන් මෙම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකර තිබේ.
කෙසේ වෙතත්, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ වර්තමානයේ රටතුළ පවතින ආර්ථික හා පාරිසරික සාධක සලකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුව මෙම තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, 304 HS කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම අදියර තුනකින් සිදුකෙරේ.
ඒ අනුව පළමු අදියර යටතේ පොදු මගී ප්‍රවාහන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙකුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා 2024 ඔක්තෝබර් 1 වැනිදා සිට අවසර දෙන අතර දෙවැනි අදියර යටතේ වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිත කරන වාහන ආනයනය සඳහා 2024 දෙසැම්බර් 1 වැනිදා සිට අවසර දෙනු ලබයි. තුන්වන අදියර යටතේ පුද්ගලික භාවිත මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදිලියේ වාහන ආදිය ඇතුළුව) ආනයනය සඳහා 2025 පෙබරවාරි 1 වැනිදා සිට අවසර දෙනු ලැබේ.
පනවා ඇති තහනම ක්‍රමානුකූලව ඉවත් කිරීම මඟින් මෙරට මෝටර් රථ කර්මාන්තය පුනර්ජීවනය කිරීමට මෙන්ම ආර්ථිකය නංවාලීම ද අපේක්ෂා කරන අතර මෙමඟින් පැරණි වාහන භාවිතය නිසා ඇති වී තිබෙන ඉන්ධන අකාර්යක්ෂමතාව අවම කිරීම සහ නඩත්තු වියදම් ඉහළ යාම පාලනය කිරීම වැනි ගැටලු විසඳීමට උපකාරී වන බව ඇමැති මණ්ඩල සංදේශයේ සඳහන් වේ. ආනයන සීමා කිරීම් දීර්ඝ කිරීම හේතුවෙන්මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පැරණි වාහන සමූහයක් ඉතිරි වී පවතින අතර, ඉන්ධන අකාර්යක්ෂමතාව හේතුවෙන් මාර්ග ආරක්ෂාව සහ ඉන් ඇතිවන පාරිසරික බලපෑම් පිළිබඳ ගැටලු මතුවී තිබේ.
වාහන ආනයනය සම්ප්‍රදායිකව ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇති බැවින් නව වාහන ආනයනයට ඉඩ දීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ රජයේ ආදායම වැඩි කිරීමට ද අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, වාහන ආනයනය මෙරට විදේශ විනිමය සංචිත කෙරෙහි බලපෑමක් ඇති කරන බැවින් එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වාහන ආනයනය සඳහා අමතර තීරු බදු පැනවීම වැනි පියවර ද හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති පැරිස් සම්මුතියෙහි ඇතුළත් “ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වය (NDCs)” සපුරාලීම සඳහා පවතින කැපවීම මෙන්ම 2050 වන විට ‘ශුන්‍ය විමෝචන තත්ත්වය’ කරා ළඟා වීම සඳහා පවතින ඉලක්කය, මෙම තීරණය වෙත එළැඹීමේදී ද සැලකිල්ලට භාජනය කර තිබේ. නව වාහන ආනයන ප්‍රතිපත්තිය මඟින් පරිසර හිතකාමී වාහන කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඊට අනුව Euro 4 සිට Euro 6 දක්වා ප්‍රමිතීන්ට පරිවර්තනය වෙමින් වායු විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වීමද අවශ්‍ය වේ.
එමෙන්ම රජය විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම ද මෙමඟින් අරමුණු කර තිබේ. 2029 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය තහනම් කරමින් දැනට භාවිත කරන වාහන විද්‍යුත් වාහන බවට පරිවර්තනය කිරීම ද දිරිමත් කරනු ලැබේ. මෙරට තුළ වසරකට සාමාන්‍යයෙන් 30,087ක් පමණ (මූලික වශයෙන් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ) මාර්ග අනතුරු සිදුවන අතර ඒවා තවදුරටත් අවම කිරීමේ උත්සාහයක් ලෙස රජය සිය වාහන ආනයන ප්‍රතිපත්තිවලට ආරක්ෂිත පියවර ද ඇතුළත් කර තිබේ.
මෙම නව රාමුව යටතේ, මෝටර් රථ ආනයනය නව මාදිලිවලට සීමා වේ. එනම් නිෂ්පාදනය කර වසර තුනකට අඩු මෝටර් රථ සහ ක්‍රීඩා මාදිලියේ වාහන (SUV) මෙන්ම නිෂ්පාදනය කර වසර පහට අඩු පොදු ප්‍රවාහන සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන සඳහා මෙම තහනම ඉවත් කෙරේ. තවද විශේෂ කාර්යයන් සඳහා සහ ආරක්ෂක කටයුතු සඳහා ආනයනය කරනු ලබන වාහන අවුරුදු දහයක් දක්වා පැරණි විය හැකිය. එසේම ආනයනකරුවන් විසින් මෙම වාහන ආනයනය කර දින 90ක් ඇතුළත ලියාපදිංචි කර විකිණීමට අවශ්‍ය වන අතර සිදුවන ප්‍රමාදය සඳහා දඩ මුදල් අය කෙරේ.
මීට අමතරව, මෝටර් රථ සහ අමතර කොටස් ආනයනය කරන්නන්, වාහන එකලස් කරන්නන් සහ වෙෙළඳුන් නියාමනය කිරීම සඳහා වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් ද හඳුන්වා දීමට නියමිත වේ.
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනේ අංගයක් ලෙස ශ්‍රී ලංකාව ළඟා විය යුතු මූල්‍ය ඉලක්කවලට සහාය වෙමින්, ආනයන කටයුතු ක්‍රමානුකූලව නැවත ආරම්භ කිරීම මෙන්ම තීරුබදු හරහා අමතර ආදායමක් උපයා ගැනීමට ද මෙමඟින් අපේක්ෂා කෙරේ.
නෙත්මි පූජනී
වෙන කතා ගණන් ගන්න එපා – මැතිවරණ කොමිසම
දැනුවත් කිරීම් අපි කරනවා
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළ යුතු සියලු කරුණු හා කාර්යයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් දැනුම් දීම් කරනු ලබන හෙයින් බොහෝ පුද්ගලයන් හා සංවිධාන විසින් මේ පිළිබඳ කරනු ලබන ප්‍රකාශ, මත සහ දැනුවත් කිරීම් නොසලකා හරින මෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට සඳහන් කරයි.
එහි මෙසේද දැක්වේ.
“ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වසනීයභාවයෙන් යුතුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට සියලු විධිවිධාන යොදා ඇත.
එයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ චක්‍රලේඛ, උපෙදස්, නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා මහජනතාවද දැනුවත් කොට ඇත.
වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පරිබාහිරව විවිධ පුද්ගලයන් හා සංවිධාන විසින් ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාළව එනම් ඡන්දය සලකුණු කරන ආකාරය, ඡන්ද හා මනාප ගණන් කරන ආකාරය මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් වරින් වර කරනු ලබන ප්‍රකාශ හා මත මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන අතර ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත්, එවැනි කිසිදු ප්‍රකාශයක නිල වලංගුතාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් නොමැති බවත් නිවේදනය කරනු ලැබේ. ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාළ කරුණක් පිළිබඳව ඕනෑම පුරවැසියකුට මැතිවරණ කොමිෂන් සභාව විමසා කරුණු පැහැදිලි කරගැනීමේ අවස්ථා පවතී.
ආගරපතන ත්‍රිරෝදයේ කතාව හෙළිවෙයි: වයරයකින් ගෙල සිර කර ඉපදුණු ගමන් බිලිඳිය මරලා
මව සහ ත්‍රිරෝද රථ රියැදුරු උසාවියට නැගණියත් අත්අඩංගුවට!
ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජී කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස තිබී 10 වැනිදා හමු වූ බිලිඳියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී බිලිඳිය ඉපදුණු විටම වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට තහවුරු වී ඇති බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඉකුත් 10 වැනිදා එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයකින් දුගඳක් හැමීම නිසා එම ත්‍රිරෝද රථයේ රියැදුරුගේ මව පරීක්ෂා කර බැලීමේ දී ත්‍රිරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බෑගයක බිළින්ඳියකගේ සිරුරක් තිබෙනු දැක කැගසමින් අසල්වාසින් දැනුවත් කර ඇත.පසුව අසල්වාසින් විසින් ඒ බැව් ආගරපතන පොලිසියට දැනුම් දී තිබුණි. මේ ගැන සැකපිට එම ත්‍රිරෝද රථයේ රියැදුරු වූ 28 හැවිරිදි එක්දරු පියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු ඔස්සේ මාවනැල්ල ප්‍රදේශයේ සිට එම වතුයායට ත්‍රිරෝදයෙන් පැමිණි බව කියන 24 හැවිරිදි සැකකාර කාන්තාව ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සැකකාර රියැදුරු සහ ඇය අතර තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බිළින්දිය මෙලොවට බිහි වූ බව ඇය පවසා ඇත.
ඉකුත් 05 වැනිදා තමන් සේවය කළ මාවනැල්ල ප්‍රදේශයේ නිවසේ දී බිලිඳිය මෙලොවට බිහි වූ බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිලිඳියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවීම සඳහා ත්‍රිරෝද රථ රියැදුරු සමග ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව සැකකාර කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර ඇත.
අලුයම් කාලයේ සිරුර වළ දැමීමට සැලසුම් කර තිබුණ ද ඊට පෙර තම මව සිරුර දැක අසල්වාසින්ට දැනුම් දීම නිසා සිරුර වළ දැමීමට නොහැකි වූ බව ත්‍රිරෝද රථයේ රියැදුරු ද පොලිසියට පාපොච්චාරණය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකාර රියැදුරු සහ සැකකාරිය නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සැකකාරියගේ සොහොයුරිය ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි විමර්ශන සිදු කරන ආගරපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
නුවරඑලිය නාලක රත්නායක
නව පාසල් වාරය ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්
2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මේ බව සඳහන් කර තිබේ.
කෙහෙළියට ඇප: දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් ගැන නීතිඥයා කියයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝහල්වලට බෙදා හැර රෝගී ජීවිත අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාස 8ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහරින ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (සැප්. 11) නියෝග කළා ය.
සිද්ධියේ හත් වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්න කුමාර හේරත් හා දාළොස් වන සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මුදා හැරුණු සෙසු සැකකරුවන් ය.
සැකකරුවන්ට රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම විය.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහලට යවා ඔහුගේ රෝගී තත්ත්වයන්ට අදාළව මානසික ප්‍රතිකාර හා හෘද රෝගී ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මාලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුව අප මත මුදා හැරීමට නියෝග කළා ය.
ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පළමුවන සැකකරු වන බාල ඖෂධ සැපයූ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තාට සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට තවදුරට ත් ඇප ලබා දීම සම්බන්ධයෙන් විරෝධතාව දක්වන බව ත් 7 වන සහ 12 වන සැකකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත්ට සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අයට ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව ත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ පැවැසුවා ය.
7 වන සහ 12 වන සැකකරුවන් සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩල වාර්තා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දන්වා සිටියා ය.
ඉහත සැකකරුවන් දෙදෙනා සියදිවි නසා ගැනීමේ උග්‍ර තත්ත්වයකට හා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ දී ඇති බව ත් දැඩි හෘද රෝගී තත්ත්වයකට මුහුණ පා ඇති බව ත් සඳහන් කරමින් වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පසුගිය නඩු විභායේදී අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යවනු ලැබු සුදත් ජානක නමැත්තා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කළහ.
එමෙන් ම, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බව ත් එවැනි සියදිවි නසා ගැනීමට තැත්කරන රෝගීයෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බව ත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ය.
තව ද, පූර්ණ ආබාධිත තත්ත්වයට පත්විය හැකි බව ත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරීමට නොහැකි බව ත් එසේ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
එබැවින් සුදුසු ඕනෑ ම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ, 2019 වසරේදී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බව ත් ඒවා වසර පහක් පැරැණි එවා බව ත් ය.
එමෙන් ම, 8 වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ, ඉදිරි වසර දහයකදී ඇති විය හැකි රෝග වාර්තාවක් බව ත් වර්තමාන තත්ත්වය තුළදී එම රෝගවලින් නොපෙළෙන බව ය.
තව ද, වර්තමාන රෝගී තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දීමට සැකකරු අසමත් වී ඇති බව ය.
මේ තත්ත්වය මත අධිකරණයට ඇප ලබා දීමට බලයක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා ය.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහලට යවා එම මානසික ප්‍රතිකාර සහ හෘද රෝගී ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරට ත් ඉල්ලා සිටියා ය.